ඉරාන යුද ගැටුම් මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) අසල පිහිටි ඉන්ධන ගබඩා ටැංකියකට අද (16) උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ඇති වූ ගින්න හේතුවෙන් මගී සහ කාර්ය මණ්ඩල ආරක්ෂාව තකා ගුවන් තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට ඩුබායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
ඩුබායි මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි, සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් අදාළ ගින්න මේ වන විට පාලනය කර ඇති අතර ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැත. එමිරේට්ස් (Emirates) ගුවන් සේවය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නැවත දැනුම් දෙන තුරු ඩුබායි වෙත පැමිණෙන සහ පිටත්වන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බැවින් මගීන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් වළකින ලෙසයි. ඇතැම් ගුවන් යානා අල් මක්ටූම් (DWC) ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.
පෙබරවාරි 28 වැනිදා ඇරඹි අමෙරිකා-ඉරාන යුද ගැටුම්වලින් පසුව ගල්ෆ් කලාපයේ රටවලට ඉරානය විසින් එල්ල කළ 2,000 වැනි ප්‍රහාරය මෙය ලෙස සැලකේ. මෙරට විදේශ විනිමය උපයන ලාංකිකයන් විශාල පිරිසක් වෙසෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වන මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් කලාපීය සංචාරක සහ වෙළඳ කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.














