මෙරට පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නැවත ක්‍රියාත්මක කරන ලද ජාතික ඉන්ධන බලපත්‍ර (National Fuel Pass) QR පද්ධතියේ සාර්ථකත්වය පිටුපස සිටි තාක්ෂණික කණ්ඩායම් වෙත හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ස්තුතිය පුද කර තිබේ. ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම පද්ධතිය නිර්මාණය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ඩයලොග් ආසියාටා (Dialog Axiata) සහ මිලේනියම් අයි.ටී. (Millennium IT) යන ආයතන සුවිශේෂී දායකත්වයක් ලබාදුන් බවයි.
විශේෂයෙන්ම ICTA ආයතනයේ ජයන්ත ද සිල්වා, ඩයලොග් ආයතනයේ සුපුන් වීරසිංහ සහ මිලේනියම් අයි.ටී. ආයතනයේ ෂෙවාන් ගුණතිලක යන මහත්වරුන් ඇතුළු ඔවුන්ගේ කණ්ඩායම් මෙහි ගෞරවයට හිමිකම් කිව යුතු බව ඔහු පෙන්වා දෙයි. 2022 ජූලි මාසයේදී ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම ක්‍රමය, සීමිත සම්පත් ප්‍රමාණයක් යටතේ මෙරට සමාජ හා ආර්ථික ක්ෂේත්‍ර කඩිනමින් ස්ථාවර කිරීමට සමත් වූ අතර, එය හුදෙක් ඉන්ධන බෙදාහැරීමේ මෙවලමක් පමණක් නොව වෙළඳපොළ ප්‍රවණතා විශ්ලේෂණය කිරීමට සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ද උපකාරී වූ දත්ත පද්ධතියක් බව විජේසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














