ජාත්‍යන්තර කාන්තා දිනය සහ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමේ 70 වන සැසිය (CSW70) නිමිත්තෙන් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ආරම්භක උත්සවයේදී ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ද වොස් මහත්මියට විශේෂ උපහාරයක් හිමි විය. විවිධ බාධක මධ්‍යයේ සාර්ථකත්වය කරා ගිය කාන්තාවන් සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා දියත් කළ විශේෂ ප්‍රචාරක වැඩසටහනක් යටතේ ඇයගේ ඡායාරූපයක් මහා මණ්ඩල ශාලාවේ ප්‍රධාන තිරය මත ප්‍රදර්ශනය කෙරිණි.
ඡායාරූප ශිල්පී බ්‍රී හාර්ට්මන් විසින් ලබාගත් මෙම ඡායාරූපය සමඟ ආශා ද වොස් මහත්මියගේ ප්‍රබල පණිවිඩයක් ද ඇතුළත් විය. එහි සඳහන් වූයේ, “මා හට හැකියාවක් නැති බව ඔවුන් පැවසුවා – ඒ නිසා මම ලෝකය වෙනස් කළ හැකි සොයාගැනීමක් සිදු කළා” යනුවෙනි. නොපසුබට උත්සාහය සහ ධෛර්යය තුළින් ඕනෑම කාන්තාවකට සාර්ථකත්වයේ දොරටු විවර කරගත හැකි බව මෙමගින් ඇය ලොවටම සිහිපත් කර දුන්නාය.
මෙම ආඩම්බර ජයග්‍රහණය පිළිබඳව සුබ පැතුම් එක් කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, විද්‍යාව සහ මානව වර්ගයාගේ අනාගතය හැඩගැස්වීමට මෙන්ම බාධක බිඳ දැමීමට කාන්තාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම ආශා ද වොස් මහත්මියගේ මෙම පණිවිඩය මගින් මනාව පිළිඹිබු වන බවයි. රටට ගෞරවයක් ගෙන දෙන මෙවැනි පර්යේෂකයන් සහ නව නිපැයුම්කරුවන් නිරන්තරයෙන් දිරිමත් කළ යුතු බව ද ඔහු සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් කියා සිටියේය.














