ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කරගනිමින් දැවැන්ත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව රොයිටර් සහ AFP පුවත් සේවා වාර්තා කරයි. ඉරාක ආරක්ෂක අංශ පවසන පරිදි මෙය මෑත කාලයේ තානාපති කාර්යාලය වෙත එල්ල වූ “දරුණුතම ප්‍රහාරය” වේ.
මෙම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර තානාපති කාර්යාලය විසින් විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කරමින් ඉරාකයේ සිටින අමෙරිකානු වැසියන්ට අනතුරු අඟවා තිබුණේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් බැග්ඩෑඩ් නුවර ජාත්‍යන්තර කලාපයට (International Zone) ප්‍රහාර එල්ල කිරීමේ දැඩි අවදානමක් පවතින බවයි. මැදපෙරදිග කලාපයේ පවතින ඉරාන-අමෙරිකානු යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව මෙම ප්‍රහාර මඟින් පෙන්නුම් කරයි.
ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් මෙලෙස දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම නිසා කලාපීය ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, මෙයට පිළිතුරු ලෙස අමෙරිකාව ද සිය හමුදා මෙහෙයුම් දැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා මෙන්ම මෙවැනි ප්‍රහාරයන් ද ගෝලීය බලශක්ති සැපයුමට සහ ජාත්‍යන්තර දේශපාලනයට ප්‍රබල බලපෑමක් එල්ල කරමින් තිබේ.














