ඉරානය සහ ඇමරිකානු-ඊශ්‍රායල පාර්ශවයන් අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල අද (17) දිනයේ යම් ඉහළ යාමක් පෙන්නුම් කරයි. ඒ අනුව රන් අවුන්සයක මිල 0.4% කින් ඉහළ ගොස් ඩොලර් 5,023.19 ක් ලෙස සටහන් විය. හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා තැබීම හේතුවෙන් බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා පැවතීම උද්ධමනය ඉහළ යාමට බලපා ඇති අතර, ආයෝජකයන් සිය වත්කම් සුරක්ෂිත කර ගැනීම සඳහා රන් මිලදී ගැනීමට යොමු වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
කෙසේ වෙතත්, මේ සතියේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ෆෙඩරල් බැංකුව ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මහ බැංකුවල මූල්‍ය ප්‍රතිපත්ති තීරණ කෙරෙහි ද ආයෝජකයන් දැඩි අවධානයෙන් පසුවේ. එංගලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක මහ බැංකු නියෝජිතයන් ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු මුල්වරට හමුවන බැවින්, පොලී අනුපාත සම්බන්ධයෙන් ගන්නා තීරණ මත රන් මිලේ ඉදිරි වෙනස්වීම් තීරණය වනු ඇත. මේ අතර රිදී මිල 0.6% කින් ද, ප්ලැටිනම් මිල 2.2% කින් ද ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.














