හෙට (18) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, මොනරාගල, මන්නාරම, වවුනියාව සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය’ යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම උණුසුම් දර්ශකය ගණනය කරනු ලබන්නේ වාතයේ පවතින සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය පදනම් කරගනිමිනි. එළිමහනේ ක්‍රියාකාරකම්වල නිරත වීම සහ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම නිසා ශරීරයට අධික තෙහෙට්ටුව මෙන්ම මාංශ පේශි පෙරළීම වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවට දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.
මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව සිටීම සඳහා පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් හැකිතාක් සෙවණ ඇති සිසිල් ස්ථානවල රැඳී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. විශේෂයෙන්ම දහවල් කාලයේදී සිදුකරන දැඩි වෙහෙසකාරී එළිමහන් වැඩකටයුතු සීමා කිරීම සහ සැහැල්ලු ලා පැහැති කපු ඇඳුම් භාවිතය වඩාත් සුදුසු වේ. මීට අමතරව කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳව මෙම කාලය තුළ වැඩි අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි














