මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බොරතෙල් නැව්ගත කිරීම් ප්‍රමාද වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. අද (17) කොළඹදී මාධ්‍යවේදීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දිගුකාලීන ටෙන්ඩර් ප්‍රදානය කර තිබියදී පවා මෙලෙස බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 බැගින් වූ නැව්ගත කිරීම් දෙකක් ප්‍රමාද වී ඇති බවයි.
මීට අමතරව, පෞද්ගලික අංශයේ ඉන්ධන බෙදාහරින්නෙකුට අයත් තවත් ඉන්ධන නෞකාවක් ද මෙලෙස ප්‍රමාද වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. එක් නෞකාවක් හෝ ප්‍රමාවීම සමස්ත ඉන්ධන බෙදාහැරීමේ ජාලයටම දැඩි බලපෑමක් එල්ල කරන බවත්, එමගින් රජය අපේක්ෂා කරන ඉලක්කගත සැපයුම් මට්ටම් පවත්වාගෙන යාම අභියෝගාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙම තත්ත්වය හමුවේ ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන සැපයුමේ යම් යම් බාධාකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ පවතින බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.













