බලශක්ති අර්බුදය හමුවේ අද (18) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද, පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. නිවාඩු දිනය හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු සීමා කර තිබීම මගී ජනතාව දැඩි අසීරුතාවට පත්වීමට ප්‍රධාන හේතුව වී තිබේ.
රජයේ නිවාඩු දිනයක් වුවද පෞද්ගලික අංශයේ බොහෝ ආයතන අද දිනයේ විවෘතව පවතී. එම සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් අද උදෑසන බස් රථ සහ දුම්රියවල අධික මගී තදබදයක් දක්නට ලැබුණි.
බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් ලංගම සහ පෞද්ගලික බස් රථ මෙන්ම දුම්රිය ගමන් වාර ද සැලකිය යුතු ලෙස සීමා කර තිබේ. මේ හේතුවෙන් ධාවනය වන සීමිත බස් සහ දුම්රිය ප්‍රමාණය තුළ මගීන් පිරී ඉතිරී ගොස් ඇත.
ප්‍රධාන නගර කරා පැමිණෙන ජනතාව පවසන්නේ ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම නිසා තමන්ට නියමිත වේලාවට සේවා ස්ථාන කරා යාමට නොහැකි වී ඇති බවයි. විශේෂයෙන්ම කාර්යාල දුම්රිය සීමා කිරීම මගීන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
බලශක්ති කළමනාකරණය සඳහා රජය මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කළද, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගෙන ප්‍රවාහන සේවා විධිමත් කිරීමේ අවශ්‍යතාව මගී ජනතාව පෙන්වා දෙති.














