මාර්තු 22 වන දිනට යෙදෙන ලෝක ජල දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය සහ ජල සම්පත් මණ්ඩලය එක්ව සංවිධානය කරන “තිසර දියවර” ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (19) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි. “ජලය සහ මානව සබඳතාවය” යන මෙවර ලෝක ජල දින තේමාව යටතේ සෑම පුරවැසියෙකුගේම ජල අයිතිය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
මෙම මාධ්‍ය හමුව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, අමාත්‍යාංශ ලේකම් එස්.කේ. උඩුවාවල සහ ජල සම්පත් මණ්ඩලයේ සභාපති එන්.එම්.එස්. බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණේ 1964 වසරේ සිට ක්‍රියාත්මක වන ජල සම්පත් මණ්ඩල පනත වසර 62කට පසුව වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි. ජල මූලාශ්‍ර සහ භූගත ජල පෝෂක ස්ථාන නීත්‍යානුකූලව සුරක්ෂිත කිරීම එම සංශෝධනවල මූලික ඉලක්කය වී තිබේ.
භූගත සහ මතුපිට ජල සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ ජල උල්පත් සුරැකීම, ජලයේ ගුණාත්මකභාවය නියාමනය කිරීම සහ ඒ පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පිරිසිදු පානීය ජලය ලබාගැනීම මානව අයිතිවාසිකමක් ලෙස සලකා, අනාගත පරපුර වෙනුවෙන් ජල සම්පත සුරක්ෂිත කිරීමට මෙලෙස රාජ්‍ය මට්ටමින් දැඩි අවධානයක් යොමු කර තිබීම සුවිශේෂී කරුණකි.














