පාකිස්ථානයේ කරච්චි වරාය නගරයට බලපෑ දැඩි වර්ෂාව සහ පැයට කිලෝමීටර් 90 ඉක්මවූ ප්‍රබල සුළං හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව අද (මාර්තු 19) වාර්තා විය. බදාදා රාත්‍රියේ සිට ඇරඹි මෙම අයහපත් කාලගුණය හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීම්, ගස් උදුරා දැමීම් සහ යටිතල පහසුකම් විනාශ වීම් රැසක් වාර්තා වී තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බල්දියා ටවුන් (Baldia Town) ප්‍රදේශයෙනි. එහි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සුන්බුන් අතර තිබී මළ සිරුරු 13ක් සොයාගෙන ඇත. මීට අමතරව ලන්ධි (Landhi) ප්‍රදේශයේ තාප්පයක් කඩා වැටීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් ඇති අතර මලීර් (Malir) ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොරන්ගි (Korangi) ප්‍රදේශයේදී නිවසක වහලයක් කඩා වැටීමෙන් සහ ගසක් ඇඟ මතට වැටීමෙන් තවත් මරණ කිහිපයක් වාර්තා විය.
නගරයේ බලශක්ති සැපයුමට ද මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර විදුලි පෝෂක 260ක් පමණ අක්‍රිය වීමෙන් බොහෝ ප්‍රදේශ අඳුරේ පවතී. කරච්චි නගරාධිපති මුර්තාසා වහාබ් (Murtaza Wahab) ජනතාවගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස් තුළටම වී ආරක්ෂිතව සිටින ලෙසයි. ඉදිරි පැය කිහිපය තුළ කරච්චි ඇතුළු සින්ද් (Sindh) ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ අකුණු සහිත ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.














