බටහිර ආසියාවේ පවතින යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව මතුව ඇති ආරක්ෂක තර්ජන හේතුවෙන් අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බාධා අවම කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් කෝටි 497ක විශේෂ සහන පැකේජයක් අද (මාර්තු 19) ප්‍රකාශයට පත් කළේය. RELIEF (Resilience and Logistics Intervention for Export Facilitation) ලෙස නම් කර ඇති මෙම වැඩපිළිවෙළ මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, ඉරානය සහ ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග රටවල් රැසකට සිදුකරන අපනයන කටයුතු සුරක්ෂිත කෙරේ.
පෙබරවාරි 14 සිට මාර්තු 15 දක්වා කාලය තුළ අපනයන ණය රක්ෂණාවරණ (ECGC) ලබාගත් අපනයනකරුවන්ට, පවතින රක්ෂණාවරණයට අමතරව 100% දක්වා අවදානම් ආවරණයක් කිසිදු අමතර පිරිවැයකින් තොරව රජය මගින් ලබා දෙනු ඇත. ඉදිරි මාස තුන ඇතුළත අපනයන සිදු කිරීමට සැලසුම් කර ඇති පිරිස් දිරිමත් කිරීම සඳහා, ඔවුන් ලබාගන්නා ECGC රක්ෂණාවරණවලට අමතරව 95% දක්වා අවදානම් ආවරණයක් රජයේ මැදිහත්වීමෙන් ලබා දීමට පියවර ගෙන තිබේ.
අපනයන රක්ෂණාවරණ ලබාගෙන නොමැති වුවද, අධික නැව් ගාස්තු සහ රක්ෂණ වාරික හේතුවෙන් පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට (MSMEs) සහන සැලසීම මෙහිදී සිදු කෙරේ. ඒ අනුව එක් අපනයනකරුවෙකුට රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව අර්ධ ප්‍රතිපූරණ පහසුකම් ලබා දීමට රජය තීරණය කර ඇත.
මෙම මැදිහත්වීම 2026-31 කාලය සඳහා ක්‍රියාත්මක වන රුපියල් කෝටි 25,060ක දැවැන්ත අපනයන ප්‍රවර්ධන මෙහෙයුමේ (Export Promotion Mission) කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. ගෝලීය වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ ඉන්දීය අපනයනකරුවන්ගේ විශ්වාසය රැකගැනීමත්, ඇණවුම් අවලංගු වීම වැළැක්වීමත්, එම ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත කිරීමත් මෙහි ප්‍රධාන අරමුණයි.















