සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ වෙසෙන අවසන් වනඅලි යුවළගෙන් දැනට ජීවත්ව සිටින අලියාගේ ගෙලෙහි පැලඳවූ අක්‍රිය වී තිබූ ජී.පී.එස්. (GPS) කරපටිය සාර්ථකව ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (මාර්තු 19) නිල වශයෙන් නිවේදනය කළේය. රඹුක, රජවත්ත ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 17 වනදා සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව මෙම කරපටිය ඉවත් කර තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ‘පණු කොටා’ නමින් හඳුන්වන මෙම වනඅලියාගේ සංචරණ රටාවන් සහ වාසස්ථාන භාවිතය පිළිබඳ විද්‍යාත්මක දත්ත රැස්කිරීම සඳහා මීට වසර කිහිපයකට පෙර මෙම කරපටිය පැලඳවූ බවයි. කෙසේ වෙතත්, කෙටි කලකින්ම එම කරපටිය අක්‍රිය වූ අතර අලියා මේ දක්වා එම අමතර බර දරාගෙන ජීවත් විය. වනජීවී නිලධාරීන් පවසන්නේ දැන් එම බරින් නිදහස් වී සිටින මෙම සත්ත්වයාට සිංහරාජ වනය තුළ වඩාත් ස්වාභාවික ලෙස නිදහසේ හැසිරීමට අවස්ථාව ලැබෙන බවයි.
මෙම අලියා සිංහරාජයේ අවසන් වනඅලි පරපුරේ ජීවත්ව සිටින එකම සත්ත්වයා ලෙස සැලකෙන බැවින්, උගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වනජීවී නිලධාරීන් නිරන්තර අවධානයෙන් පසුවෙයි. කරපටිය ඉවත් කිරීමෙන් පසුව අලියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.















