ලොව ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකා සඳහා විශේෂ ගාස්තු සහ බදු පැනවීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බව ඉරානයේ ISNA ප්‍රවෘත්ති ඒජන්සිය අද (මාර්තු 19) වාර්තා කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඉරානය ගෙන ඇති මෙම තීරණය ගෝලීය නාවික ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහතික කිරීම සහ ඉරානයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ඉරාන බලධාරීන් පවසයි. මෙම යෝජනාව සම්මත වුවහොත් එම මුහුදු සීමාව හරහා ගමන් ගන්නා සියලුම නෞකා ඉරානය වෙත ගාස්තු සහ අදාළ බදු ගෙවීම අනිවාර්ය වනු ඇත. ඉරාන පාර්ලිමේන්තු නියෝජිත සොමායේ රෆීයි (Somayeh Rafiei) ප්‍රකාශ කළේ සතුරන්ට මෙතෙක් ලබා දී තිබූ වරප්‍රසාද දැන් අහිමි වී ඇති බවත් ඔවුන්ට මෙම නව යථාර්ථයට මුහුණ දීමට සිදුවන බවත්ය.
ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් පමණ සිදුවන මෙම සංවේදී මුහුදු මාර්ගයට ගාස්තු පැනවීම හේතුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් සහ අනෙකුත් භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී. “මෙම සටන ඉරානයේ තීරණාත්මක ජයග්‍රහණයකින් අවසන් වනු ඇති” බවත් ඉන් පසු සතුරු රටවල නෞකාවලට දිගින් දිගටම අභියෝග එල්ල කරන බවත් ඉරානය අවධාරණය කර සිටී.














