හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ ප්‍රධාන ලෝකාන්ත බෑවුමේදී අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් අද (මාර්තු 19) උදෑසන අඩි 50ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබේ. වාසනාවකට මෙන් ගසක අත්තක එල්ලී සිටි ඇයව බේරා ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් එක්ව පැය ගණනාවක දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදී.
අද උදෑසන 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර සිසුවිය ඇද වැටී අත්තක එල්ලී සිටිනු දුටු හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ රියදුරෙකු වහා ක්‍රියාත්මක වී සිය ජීවිත අවදානම ද නොතකා පහළට බැස ඇයව අත්තෙන් බස්සවා ආරක්ෂිත ගලක් මත වාඩි කරවීමට සමත්ව ඇත. පසුව පට්ටිපොළ පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කෙරුණි.
නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ කමාන්ඩෝ භටයින්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් දරා අදාළ සිසුවිය ප්‍රපාතයෙන් ඉහළට ගෙන පසුව ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. යාපනය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මෙම සිසුවිය දැනට රෝහල්ගතව පසුවන අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.















