එංගලන්තයේ සමස්ත වෙරළ තීරයම ආවරණය කරමින් ඉදි කළ ලොව දිගම කළමනාකරණය කරන ලද වෙරළබඩ පදික මාවත අද (19) නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. III වන චාල්ස් රජුගේ එංගලන්ත වෙරළබඩ මාවත (King Charles III England Coast Path) ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී නිර්මාණය ‘Natural England’ ආයතනය විසින් නිම කර ඇත. සැතපුම් 2,689ක් (කිලෝමීටර් 4,327ක් පමණ) දිගින් යුත් මෙම මාවත විවෘත වීමත් සමඟ ඉතිහාසයේ පළමු වතාවට එංගලන්ත වෙරළ තීරය වටා අඛණ්ඩව ගමන් කිරීමේ අවස්ථාව මහජනතාවට උදාවනු ඇත.
මීට පෙර මහජනතාවට ප්‍රවේශ වීම තහනම් කර තිබූ වෙරළ තීරයන්, ස්වභාවික වැලි කඳු සහ දැවැන්ත ගිරිශිඛර ඔස්සේ දැන් සංචාරකයින්ට සහ ඇවිදින්නන්ට නිදහසේ ගමන් කිරීමට අවසර ලැබේ. මෙම මාවත නිර්මාණය කිරීමේදී පරිසර පද්ධතියට හානි නොවන පරිදි ස්වභාවික සෞන්දර්යය ආරක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබීම විශේෂත්වයකි. මෙය ලෝකයේ පවතින සෙසු වෙරළබඩ ඇවිදීමේ මාවත් අභිබවා යමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවා ඇත.
බී.බී.සී (BBC) පුවත් සේවය වාර්තා කරන පරිදි, සාමාන්‍යයෙන් දිනකට සැතපුම් 15ක් ඇවිදින අයෙකුට මෙම සමස්ත මාවත නිම කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇත. මෙය හුදෙක් පදික මාවතක් පමණක් නොව, එංගලන්තයේ සංචාරක කර්මාන්තය නංවාලීමට සහ වෙරළබඩ කුඩා නගරවල ආර්ථිකය ශක්තිමත් කිරීමට ද මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලොව පුරා විසිරී සිටින ඇවිදීමේ සහ ස්වභාවික සෞන්දර්යයට ලැදි සංචාරකයින් සඳහා මෙය ඉතා ආකර්ෂණීය ගමනාන්තයක් වනු නොඅනුමානය.














