විද්‍යාව සහ සමාජය අතර සහසම්බන්ධතාව ශක්තිමත් කරන “පුරවැසි විද්‍යාව” (Citizen Science) සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවනු ලැබූ “පුරවැසි විද්‍යා ඒකකය” (Citizen Science Cell) විවෘත කිරීමේ උත්සවය තලවතුගොඩදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේකර මහතා අවධාරණය කළේ නව සොයාගැනීම් සහ දැනුම පර්යේෂණාගාර හෝ විශ්වවිද්‍යාල තුළට පමණක් සීමා නොවිය යුතු බවයි.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ දායකත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය හරහා සාමාන්‍ය පුරවැසියන්ගේ නිරීක්ෂණ සහ දත්ත එකතු කිරීමේ හැකියාව විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය. මෙය පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මහජනතාව එක්ව කටයුතු කරන පොදු වේදිකාවක් වනු ඇත.
මෙහිදී මූලික වශයෙන් දේශගුණික විපර්යාස සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුවන පාරිසරික හා සෞඛ්‍ය තර්ජන පිළිබඳව අවධානය යොමු කෙරේ. “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ආපදා තත්ත්වයන් පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණික විසඳුම් සහ දත්ත රැස් කිරීම විදාතා (VIDATHA) මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට සැලසුම් කර ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවවි මහතා සහ ඕස්ට්‍රේලියානු විශේෂඥ ආචාර්ය රන්දිකා ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. පුරවැසියන් සතු කුතුහලය සහ ප්‍රායෝගික අත්දැකීම් විද්‍යාත්මක සොයාගැනීම් බලගැන්වීමට යොදා ගැනීම මෙරට සංවර්ධනයට විශාල ශක්තියක් වනු ඇති බව ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.














