ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර සංචාරයක නිරතව සිටියදී අතුරුදහන් වූ 20 හැවිරිදි ඇමෙරිකානු තරුණයෙකු වන ජේම්ස් ‘ජිමී’ ග්‍රේසිගේ (James Gracey) සිරුර මුහුදේ තිබී සොයාගෙන තිබේ. ඔහුගේ මව වන තෙරේසා ග්‍රේසි විසින් ඔහු අතුරුදහන් වූ බවට කළ පැමිණිල්ලකට අනුව දිය යට කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමකදී මෙම සිරුර හමුවී ඇත.
ඇලබාමා විශ්වවිද්‍යාලයේ (University of Alabama) ගිණුම්කරණය පිළිබඳ ගෞරව උපාධියක් හදාරමින් සිටි ජේම්ස්, සිය මිතුරන් සමඟ ‘Spring Break’ නිවාඩුව සඳහා බාර්සිලෝනා වෙත ගොස් තිබුණි. ඔහු අවසන් වරට දක්නට ලැබී ඇත්තේ වෙරළාසන්නයේ පිහිටි ‘Shoko’ නැමති රාත්‍රී සමාජ ශාලාව අසලදීය. ඔහුගේ මුදල් පසුම්බිය එම ප්‍රදේශයේ තිබී හමුවීමෙන් පසු සිදු කළ සෝදිසි කිරීම්වලදී කිමිදුම්කරුවන් විසින් මුහුදු පතුලේ තිබී ඔහුගේ සිරුර සොයාගන්නා ලදී.
ස්පාඤ්ඤ පොලිසිය පවසන පරිදි මෙය කිසියම් සාපරාධී ක්‍රියාවක් (Foul play) නිසා සිදු වූවක් බවට දැනට සාක්ෂි හමුවී නොමැත. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පියා වන ටාරස් සහ මව වන තෙරේසා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සිය ශෝකය පළ කර ඇත. ජේම්ස් සිය අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම සමාජීය කටයුතුවලදී ද කැපී පෙනෙන ශිෂ්‍යයෙකු වූ අතර ඔහු ‘Theta Chi’ සහෝදරත්ව සංගමයේ ද ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.














