එක්කාලයක ග්ලැම්-රොක් (Glam-rock) සංගීත ලෝකයේ දැවැන්තයෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ගේරි ග්ලිටර් (Gary Glitter) මේ වන විට බන්ධනාගාරය තුළ දැඩි ලෙස රෝගාතුරව පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘Rock and Roll Part 2’ වැනි ජනප්‍රිය ගීත හරහා 70 දශකයේ ලොවක් වසඟ කළ, නමුත් පසුව දශක ගණනාවක් පුරා සිදුකළ දරුණු ළමා ලිංගික අපරාධ හේතුවෙන් සමාජයේ දැඩි පිළිකුලට ලක්වූ පෝල් ගැඩ් (Paul Gadd) හෙවත් ගේරි ග්ලිටර්, නිරිතදිග එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ සිය අවසන් කාලය ගත කරමින් සිටියි. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ 81 හැවිරිදි ඔහු මේ වන විට ඇවිදීමට නොහැකිව රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරන අතර, ශ්‍රවණාබාධයකින් ද පෙළෙන බැවින් හඳුනාගත නොහැකි තරමට වැහැරී ගොස් ඇති බවයි.
දැරියන් තිදෙනෙකුට අපචාර කිරීමේ චෝදනාව මත වසර 16ක සිරදඬුවමක් විඳිමින් සිටින ඔහු, 2023 වසරේදී කෙටි කලකට නිදහස් කළ ද නැවතත් බාලවයස්කරුවන් සම්බන්ධ අනිසි හැසිරීම් හේතුවෙන් වහාම අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි. ඔහුගේ අපරාධ ඉතිහාසය 1999 වසරේදී පරිගණකයේ ළමා අපචාර රූප තබා ගැනීමේ සිට 2006 වසරේදී වියට්නාමයේදී වයස අවුරුදු 10 සහ 11 යන වියේ පසුවූ දැරියන් දෙදෙනෙකුට අපචාර කිරීම දක්වා දිවයයි. පසුව 2012 වසරේදී බ්‍රිතාන්‍යයේ ‘Operation Yewtree’ විමර්ශනය යටතේ නැවතත් අත්අඩංගුවට ගෙන වසර 16ක සිරදඬුවමක් නියම වූ අතර, ඔහුගේ සිරදඬුවම් කාලය 2031 වසර දක්වා පවතින බැවින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට පෙර එහිදීම මියයනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.
බන්ධනාගාරය තුළ ඔහුට අනෙකුත් සිරකරුවන්ගෙන් එල්ල විය හැකි තර්ජන සලකා බලා විශේෂ ඒකකයක රඳවා සිටින අතර, ඔහු දිනකට පැය 23ක්ම හුදකලාව සිය සිරකුටිය තුළ ගත කරන බව පැවසේ. වරක් ලොවම හඳුනන සුපිරි තරුවක්ව සිටි ඔහු අද වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සිරකරුවන්ගේ කිසිදු අනුකම්පාවකට ලක් නොවී හුදකලාව මරණය අපේක්ෂාවෙන් පසුවන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














