පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර 12 වන කිලෝමීටර් කණුව අසලදී ඊයේ (19) අලුයම 5.45 ට පමණ සිදු වූ දරුණු රිය අනතුරකින් ලොරි රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත් විය. ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය අසල ගාල් කර තිබියදී, පසුපසින් පැමිණි තවත් ලොරි රථයක් එහි වේගයෙන් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පසුපසින් පැමිණ ගැටුණු ලොරි රථයේ රියදුරා වන අතර, ගැටීමේ ප්‍රබලතාවය හේතුවෙන් එම රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව තිබුණි. අනතුර සිදු වන අවස්ථාවේදී මාර්ගයේ පැවති අඳුරු ස්වභාවය හෝ රියදුරාට නින්ද යාම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. අධිවේගී මාර්ග රථවාහන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, අනතුර හේතුවෙන් එම දිශාවට වූ රථවාහන ගමනාගමනයට ද මඳ වේලාවකට බාධා එල්ල විය.














