පවතින ගෝලීය යුද වාතාවරණය හමුවේ රට තුළ තොග ආහාර බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, එම ප්‍රවාහන සේවා සපයන්නන්ගේ සැබෑ ඉන්ධන අවශ්‍යතාවය හඳුනාගැනීමේ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය විසින් අද (20) ආරම්භ කර තිබේ. මෙමගින් ආහාර බෙදාහැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඉන්ධන කෝටා කළමනාකරණය සඳහා නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ ගැනීම අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම මෙතෙක් කිසිදු අමාත්‍යාංශයක හෝ රජයේ නිල දත්ත පද්ධතියක ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් ඉලක්ක කර ගනිමින් මෙම දත්ත රැස්කිරීම සිදු කෙරේ. දැනටමත් ලියාපදිංචි වී ඇති පාර්ශ්වයන්ට සිය තොරතුරු අදාළ නිල මාර්ග ඔස්සේ ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත. ප්‍රවාහනකරුවන් මුහුණ දෙන මෙහෙයුම් අභියෝග හඳුනාගෙන, දත්ත මත පදනම් වූ නිර්දේශ සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.
මෙම ක්‍රියාවලිය හරහා රැස්කරනු ලබන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, අනාගත ඉන්ධන බෙදාහැරීමේ සැලසුම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු සඳහන් කරති. එම නිර්දේශ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














