හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනාවකට අදාළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. විමර්ශන ගොනු ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කොමිසමේ කොමසාරිස්වරුන් වෙත යොමු කර ඇති බවත්, එහි ප්‍රගතිය වාර්තා කිරීමට කාලය ලබා දෙන ලෙසත් නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2023 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුත්තක් පෞද්ගලික සමාගමකට පැවරීම හරහා රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවට එල්ල වූ චෝදනාවකි. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස දන්වමින් නඩුව අගෝස්තු මස 28 වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය.














