ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය මෙහෙයුම් “අවසන් කිරීම” (winding down) පිළිබඳව තමන් සලකා බලමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඇමරිකාව අපේක්ෂිත අරමුණු රැසක් මේ වන විටත් සපුරාගෙන ඇති බවත්, මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය සමනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.
මෙම තීරණයට මූලික වී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ දෙපාර්ශවය අතර හුවමාරු වූ දරුණු ප්‍රහාර මාලාවයි. ඉරානයේ ප්‍රධාන ගෑස් නිධියකට ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, ඉරානය විසින් කටාර් රාජ්‍යයේ පිහිටි ලොව විශාලතම ද්‍රව ස්වභාවික වායු (LNG) පර්යන්තයට ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, එය ඇමරිකානු ස්ථාවරය යම්තාක් දුරකට මෘදු කිරීමට හේතු වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායලය මින් ඉදිරියට ඉරාන ගෑස් නිධි වෙත ප්‍රහාර එල්ල නොකරන බවයි. කෙසේ වෙතත්, ඉරාන පාලනයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ඔහු පවසා සිටියේ මෙහෙයුම් ලිහිල් කළ ද කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් තම අවධානය තවදුරටත් පවතින බවයි. මෙම ප්‍රකාශයත් සමඟ මාසයකට ආසන්න කාලයක් පැවති දරුණු යුදමය වාතාවරණය යම් පාලනයකට ලක් වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.














