ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරමින් පසුගියදා එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඊශ්‍රායලයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටි ඩිමෝනා (Dimona) නගරය ඉලක්ක කර ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය අද (22) පියවර ගෙන තිබේ. න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය (IAEA) දැඩි ලෙස ඉල්ලා සිටින පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වීම ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව ඇත. දකුණුදිග ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මිසයිල ප්‍රහාරය ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයට කිලෝමීටර 13ක් වැනි ඉතා ආසන්න දුරකින් පතිත වී ඇති අතර, එය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සෘජු බලපෑමක් එල්ල කිරීමට තිබූ ඉතා අවදානම් සහගත අවස්ථාවක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට අමතරව, දකුණුදිග ඊශ්‍රායලයේ එරාඩ් (Arad) නගරයට ද ඉරානය විසින් තවත් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව තහවුරු වී තිබේ. මෙම ප්‍රහාර මාලාවත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය න්‍යෂ්ටික යුද්ධයක ආසන්නයටම පැමිණ ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති.
ඉරානය විසින් සිය න්‍යෂ්ටික බලය සහ මිසයිල තාක්ෂණය භාවිතා කරමින් ඊශ්‍රායලයේ වඩාත්ම සංවේදී මධ්‍යස්ථානයක් ඉලක්ක කිරීම, දෙරට අතර පවතින ගැටුම මින් පෙර කිසිදා නොවූ විරූ මට්ටමකට තීව්‍ර කර ඇත. ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වුවද, ඩිමෝනා නගරය වැනි ආරක්ෂිත ප්‍රදේශයකට මෙලෙස මිසයිල පතිත වීම එරට ආරක්ෂක අංශවල දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. මෙම ප්‍රහාරයට ඊශ්‍රායලය විසින් ලබා දෙන ප්‍රතිචාරය මත ඉදිරි දින කිහිපය තුළ කලාපයේ ආරක්ෂාව තීරණය වනු ඇත.














