හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස ඉදිරි පැය 48 ඇතුළත යථා තත්ත්වයට පත් නොකළහොත් ඉරානයේ සියලුම බලාගාර සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අවසාන නිවේදනයක් (Ultimatum) නිකුත් කර තිබේ. ඇමෙරිකා-ඊශ්‍රායල හමුදා ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය සිව්වන සතියටත් ක්‍රියාත්මක වන පසුබිමක, ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත. ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය කොන්දේසි විරහිතව විවෘත කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් ඉරානයේ විශාලතම බලාගාරයේ සිට ආරම්භ කරමින් එරට බලශක්ති පද්ධතියම අතුගා දමන බවත් ඔහු අවධාරණය කළේය.
ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් (20%) ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා තැබීම හේතුවෙන් ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ලෝක කොටස් වෙළඳපොළවල් ද දැඩි කඩාවැටීමකට ලක්ව තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනයට ඉරානය ද වහා ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සිය බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළහොත් කලාපයේ පිහිටි ඇමෙරිකානු ලැදි සියලු බලශක්ති මධ්‍යස්ථාන තම ඉලක්ක බවට පත් කරන බවයි.
මේ අතර, ඇමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසන්නේ පසුගියදා ඉරාන වෙරළ තීරයේ මිසයිල ගබඩා සහ රේඩාර් පද්ධති වෙත එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නැව් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව දැනටමත් දුර්වල වී ඇති බවයි. පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධය අවසන් කිරීමේ සූදානමක් පවතින බවට මීට පෙර ඉඟි පළ වුවද, ට්‍රම්ප්ගේ මෙම නවතම ප්‍රකාශයත් සමඟ කලාපීය ආරක්ෂාව සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව යළිත් දැඩි අවිනිශ්චිතතාවක් මතුව තිබේ.














