පවතින මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාම, විදේශ ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්‍රය යන අංශ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිරි දැක්මට අහිතකර ලෙස බලපානු ඇති බවයි. විශේෂයෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම සහ කලාපීය අස්ථාවරත්වය හේතුවෙන් මෙරට ආර්ථික පුනරුදය අභියෝගයට ලක්ව තිබේ.
මෙම පසුබිම යටතේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ (EFF) 5 වන සහ 6 වන ඒකාබද්ධ සමාලෝචනයන් සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම සංචාරය අතරතුර, මැදපෙරදිග ගැටුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික දර්ශකවලට සිදුව ඇති බලපෑම පිළිබඳව මෙරට බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට IMF කණ්ඩායම සූදානමින් සිටී.
යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාම බිඳවැටීම නිසා ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි ද මෙයින් යම් බලපෑමක් සිදුවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. IMF නියෝජිතයන්ගේ මෙම සංචාරය, ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ ණය වාරිකය නිදහස් කරගැනීම සඳහා තීරණාත්මක වනු ඇත.













