පවතින පෝලිම් යුගය සහ භාණ්ඩ හිඟය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී අම්බිගා සැමුවෙල් මහත්මිය පවසා සිටින්නේ, පෝලිම්වල රැඳී සිටීම ජනතාවගේ පුරුද්දක් බවට පත්ව ඇති බැවින් වත්මන් අර්බුද නිර්මාණය කිරීමේ වගකීම ජනතාව සතු වන බවයි. යම් භාණ්ඩයක් පෝලිම් ගැසී ලබාගත යුතු බවට රජය දැනුම් දීමටත් පෙර, ජනතාව කලබල වී (Panic buying) ඒවා රැස්කර ගැනීමට පෙළඹීම නිසා අනවශ්‍ය පෝලිම් නිර්මාණය වන බව ඇය පෙන්වා දෙයි.
අර්බුදකාරී තත්ත්වයන් කළමනාකරණය කරමින් පවතින බවත්, අවශ්‍ය ද්‍රව්‍ය රැගත් නැව් දිවයිනට පැමිණෙමින් පවතින බවත් බලධාරීන් ප්‍රකාශ කරන අවස්ථාවලදී පවා ජනතාව පෝලිම්වල රැඳී සිටීම ගැටලුවක් බව මන්ත්‍රීවරිය අවධාරණය කරයි. අසල්වැසි රටවල මෙවැනි “පෝලිම් සංස්කෘතියක්” දක්නට නොලැබෙන පසුබිමක, මෙරට ජනතාවගේ මෙම ක්‍රියාකලාපය කෘතිම හිඟයක් මවාපෑමට සහ ප්‍රශ්න තවදුරටත් උග්‍ර කිරීමට හේතු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














