යාපනය, චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක අමානුෂික ලෙස ඝාතනය කර මන්නාරම ප්‍රදේශයේ කැලෑවකට දමා තිබියදී යාපනය පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේම විවාහක දියණිය සහ බෑණා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මාර්තු 18 වැනිදා අලුයම නිවසේදීම ඇයව ගෙල සිරකර ඝාතනය කර ඇති බවත්, පසුව මළ සිරුර මෝටර් රථයකින් රැගෙන ගොස් මන්නාරම මාර්ගයේ සුළං බලාගාරයක 04 වන කුළුණ අසල කැළෑවක දමා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කථිකාචාර්යවරිය අතුරුදන්ව ඇති බවට ඇයගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මරණකාරියගේ දියණිය සිය ස්වාමිපුරුෂයා සමඟ පැවති පවුල් ආරවුලක් හේතුවෙන් කලක් මව සමඟ පදිංචිව සිට ඇති අතර, මව අතුරුදන් වූ දින සිට දියණිය ද නිවසේ සිට නොමැත. පසුව සිදුකළ සොයා බැලීමේදී ඇය සිය සැමියා සමඟ ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර යුවළ ඝාතනය පාපොච්චාරණය කර ඇති අතර, පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි සැක කෙරේ. යාපනය පොලිසිය මගින් මළ සිරුර සොයාගෙන ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. උගත් බුද්ධිමත් කථිකාචාර්යවරියක මෙලෙස සිය සමීපතමයන් අතින්ම ඝාතනය වීම මුළු මහත් යාපනය ප්‍රදේශයම කම්පනයට පත්කළ සිදුවීමක් වී තිබේ.














