එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් වැළැක්වීමේ අරමුණින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය (CAA) පියවර ගෙන තිබේ. පසුගිය සෙනසුරාදා (මාර්තු 20) සිට ආරම්භ වූ මෙම වැඩසටහන හරහා විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය ඇතුළු ගෝලීය දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය පලිහක් කරගනිමින්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ ඉන්ධන සඟවා තබමින් කෘතිම හිඟයක් මවාපාන වෙළෙන්දන් කොටු කර ගැනීමට අපේක්ෂිතය. උත්සව සමයේ සිදුවිය හැකි වෙළෙඳ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල පවා එම අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් සේවයේ යෙදවීමට කටයුතු කර ඇත.
මෙම විශේෂ වැඩසටහන යටතේ තොග ගබඩා සහ තොග අලෙවිසැල් නිතිපතා පරීක්ෂාවට ලක් කෙරෙන අතර භාණ්ඩ සඟවා තබන වෙළෙන්දන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතය. නියමිත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, ප්‍රදර්ශනය කර ඇති මිලට වඩා වැඩි මිලක් අය කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ හෝ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම සහ බිල්පත් නිකුත් නොකිරීම වැනි වෙළෙඳ වංචා පිළිබඳව ද මෙහිදී දැඩි අවධානය යොමු කෙරේ. පාරිභෝගිකයන්ට අඛණ්ඩව සැපයුම ලබාදීම සහතික කිරීම සඳහා ගෑස් බෙදාහරින්නන් සහ ඉන්ධන පිරවුම්හල් ද නිරන්තර නිරීක්ෂණයට ලක්වනු ඇත.
පාරිභෝගික සේවා අධිකාරියේ පනතට අනුව නීතිය උල්ලංඝනය කරන වෙළෙන්දන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, පාරිභෝගිකයන්ට සිදුවන ඕනෑම අසාධාරණයක් පිළිබඳව පැමිණිලි කිරීමට 1977 කෙටි දුරකථන අංකය විවෘතව පවතී. පවතින තත්ත්වය අවබෝධ කරගෙන පාරිභෝගික අයිතීන් සුරකිමින් සාධාරණව වෙළෙඳාමේ නිරත වන ලෙස එම අධිකාරිය සමස්ත වෙළෙඳ ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














