සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ සංවේදී වීඩියෝවක් පදනම් කර ගනිමින්, කුඩා පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාව මත පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය පියවර ගෙන තිබේ. හලාවත, කාක්කපල්ලිය හන්දියේ පිහිටි කොණ්ඩා මෝස්තර සැලසුම් මධ්‍යස්ථානයකදී (Hair Salon) මෙම බිහිසුණු සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ. “109” හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලැබුණු පැමිණිල්ලකට අනුව හලාවත මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අදාළ දර්ශන පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, කොණ්ඩය කැපීම සඳහා පැමිණි කුඩා දරුවෙකු ඉලක්ක කර ගනිමින් මෙම සිදුවීම 2025 වසරේ අගෝස්තු මාසයේදී සිදුව ඇති බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් කාක්කපල්ලිය සහ බණ්ඩාරවත්ත ප්‍රදේශවලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 58 යන වයස්වල පසුවන කාක්කපල්ලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව තහවුරු වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (22) දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. දරුවන්ගේ ආරක්ෂාව සහ මෙවැනි අපරාධ වැළැක්වීම සඳහා මහජනතාව දක්වන අවධානය සහ “109” වැනි ක්ෂණික දුරකථන සේවා භාවිතා කිරීමේ වැදගත්කම මෙම සිද්ධිය හරහා නැවතත් තහවුරු වී තිබේ.














