මැදපෙරදිග කලාපය පුරා විසිරී ඇති අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ගතවූ පැය 24ක කාලය තුළ පමණක් ප්‍රහාර 21ක් එල්ල කළ බව ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධී කණ්ඩායම් නිවේදනය කරයි. ඉරාකය සහ සිරියාවේ පිහිටි කඳවුරු වෙත එල්ල වූ මෙම ප්‍රහාර මාලාව සඳහා ඩ්‍රෝන යානා සහ රොකට් ප්‍රහාර දුසිම් ගණනක් භාවිත කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි. කලාපය තුළ පවතින උණුසුම් තත්ත්වය හමුවේ අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් එල්ල වන දරුණුතම ප්‍රහාර රැල්ලක් ලෙස මෙය සැලකේ.
මේ අතර, ඊශ්‍රායලයේ දකුණුදිග අරාඩ් (Arad) නගරයට පතිත වූ බැලැස්ටික් මිසයිලයක් වළක්වා ගැනීමට එරට ගුවන් ආරක්ෂණ පද්ධති අසමත් වීම පිළිබඳව ඊශ්‍රායල ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඉරානය විසින් එල්ල කරන ලද මෙම මිසයිල දෙකක් අතරමගදී විනාශ කිරීමට ගත් උත්සාහයන් දෙකම අසාර්ථක වී ඇති බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන ඇත. ලොව දියුණුතම ආරක්ෂක පද්ධතියක් ලෙස සැලකෙන ඊශ්‍රායල පද්ධති මෙලෙස අසාර්ථක වීම එරට ආරක්ෂක අංශවල දැඩි කනස්සල්ලට හේතු වී තිබේ.














