ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා හයක් 2024/2025 මූල්‍ය වර්ෂය තුළ ධාවනයෙන් ඉවත් කර තිබියදීත්, ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් එක්කෝටි තිස්අටලක්ෂ දහඅටදහස් තුන්සිය අනූ අටක (13,818,396) දැවැන්ත මුදලක් කල්බදු (Lease) වාරික ලෙස ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. මෙම ගුවන් යානා හය අදාළ මූල්‍ය වර්ෂය තුළ මාසයක සිට වසරක් දක්වා වූ විවිධ කාලසීමාවන් තුළ කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොරව ගොඩබස්වා තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව, එම වර්ෂය තුළ ගුවන් සමාගමේ නඩත්තු සහ අලුත්වැඩියා වියදම් සඳහා රුපියල් මිලියන හතළිස් තුන්දහස් හත්සිය අසූ තුනක (43,783) මුදලක් වැය කර ඇති අතර, එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට අටක (8%) ඉහළ යාමකි.
දැනට ගුවන් යානා 22ක ඇණියක් සහිතව ක්‍රියාත්මක වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ, මෙලෙස අක්‍රියව පැවති යානා 6න් 4ක්ම ‘NEO’ වර්ගයේ යානා වන අතර ඒවා ධාවනයෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ භාවිත කළ හැකි එන්ජින් නොමැතිකම බව කළමනාකාරිත්වය විගණන අංශ වෙත දැනුම් දී ඇත. කෙසේ වෙතත්, ඉන් යානා 3ක් මේ වන විට යළිත් පියාසර කළ හැකි තත්ත්වයට පත් කර ඇති බව ද ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ. රජයේ දැඩි මූල්‍ය පීඩනයක් පවතින පසුබිමක, භාවිතයට නොගත් ගුවන් යානා වෙනුවෙන් මෙලෙස විදේශ විනිමය විශාල වශයෙන් වැය වීම කෙරෙහි විගණන වාර්තාව සිය අවධානය යොමු කර ඇත.














