පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය පිළිබඳව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, මෙම මිල සංශෝධනයේ ප්‍රධානතම අරමුණ වන්නේ රට තුළ පවතින සීමිත ඉන්ධන තොග නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සහ අනවශ්‍ය පරිභෝජනය සීමා කිරීම බවයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක, සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට නම් පරිභෝජනය පාලනය කිරීම වඩාත් ප්‍රායෝගික විසඳුම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සහ අනෙකුත් කටයුතු සඳහා ඉන්ධන භාවිතය අවම කරමින් ජනතාව සිය සමාජීය වගකීම ඉටු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මිල වැඩි කිරීමෙන් පසුව වුවද රජය තවමත් විශාල පිරිවැයක් දරන බව පැවසූ අමාත්‍යවරයා, දැනට පවතින මිල ගණන් යටතේ වුවද ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් බැගින් රජය සහනාධාර ලබා දෙන බව හෙළි කළේය. ඒ අනුව මෙම සහනය වෙනුවෙන් පමණක් රජයට මසකට රුපියල් මිලියන 20,000ක් (බිලියන 20ක්) වැය කිරීමට සිදුව තිබේ. පවතින අසීරු කාලසීමාව කළමනාකරණය කර ගැනීමට ජනතාවගේ උපරිම සහයෝගය රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.














