ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් යළිත් වරක් ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල හමුදාව තහවුරු කර ඇති පරිදි, මීට සුළු වේලාවකට පෙර එරට දෙසට මිසයිල විශාල සංඛ්‍යාවක් ගුවන්ගත කර ඇති අතර, ඒවා මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති (Air Defence Systems) මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතී.
පසුගිය රාත්‍රියේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් දකුණු ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට දැඩි හානි සිදුව ඇති අතර, සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල හමුදා ගුවන් විදුලියට අනුව, ඩිමෝනා (Dimona) සහ අරද් (Arad) යන ප්‍රදේශවලට එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයන් 150කට ආසන්න සංඛ්‍යාවක් සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානය (Soroka Medical Centre) වෙත ඇතුළත් කර තිබේ. පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඊශ්‍රායල හදිසි සේවා අංශ දැඩි සෝදිසියෙන් පසුවන අතර, ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳව බලධාරීන් තවදුරටත් ගණනය කරමින් සිටී.














