ඉන්ධන මිල සංශෝධනයත් සමඟ හැටන් නගරයේ පිරවුම්හල් කිහිපයක් ඉන්ධන නිකුත් කිරීම නවතා දමා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් අද (22) දිනයේ සිය QR කේතයට අදාළ ඉන්ධන ලබාගැනීමට පැමිණි වාහන හිමිකරුවන් සහ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ පිරවුම්හල් හිමිකරුවන් පවසා සිටින්නේ තමන් ඇණවුම් කරන ලද පෙට්‍රල් සහ ඩීසල් තොග නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙලෙස පිරවුම්හල් වසා දැමීමට සිදුවූ බවයි. කෙසේ වෙතත්, පාරිභෝගිකයන් චෝදනා කරන්නේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ නව මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමේ අරමුණින් ඇතැම් පිරවුම්හල් මෙලෙස තොග සඟවා ඇති බවයි. ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ තමන් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවද රථවාහන හිමියෝ වැඩිදුරටත් පවසති.














