තම දියණියට අමානුෂික ලෙස වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පදිංචි රොබට් එල්ඩ්‍රිජ් (38) සහ ඈෂ්ලි එල්ඩ්‍රිජ් (37) යන යුවළට එරෙහිව බරපතල අපරාධ චෝදනා එල්ල වී තිබේ. ඕලන්ඩෝ නගරයට කිලෝමීටර් 72 ක් පමණ නැගෙනහිරින් පිහිටි කොකෝවා (Cocoa) නගරයේදී මෙම පුවත වාර්තා වී ඇත.
පොලිස් වාර්තාවලට අනුව, මෙම දැරිය බළලෙකුගේ ඇඟේ තීන්ත තැවරූ බවට චෝදනා කරමින් ඇයගේ දෙමාපියන් විසින් දරුණු දඬුවම් පමුණුවා තිබේ. දැරියට අසාත්මිකතා (Allergies) පවතින බව දැන දැනම, රතු මිරිස් සහ ලූනු යොදා නිවසේදීම සාදාගත් ‘හොට් සෝස්’ (Hot sauce) හැන්දක් බලහත්කාරයෙන් ඇයට පෙවීමට මව කටයුතු කර ඇත. දැරිය එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී මව ඇයගේ නාසය තද කර හුස්ම ගැනීමට බාධා කරමින් මෙය සිදුකර ඇති බවත්, එමගින් දැරිය වමනය කරමින් දැඩි පීඩාවට පත්ව ඇති බවත් හෙළි වී තිබේ.
මීට අමතරව, පියා විසින් පටියකින් සහ ලී හැන්දකින් දැරියට 15 වතාවක් පමණ පහර දී ඇති අතර, වෛද්‍ය පරීක්ෂණවලදී ඇයගේ සිරුරේ තැලීම් සහ බරපතල තුවාල සලකුණු සොයාගෙන ඇත. පාසල් නිලධාරියෙකුට මෙම අපරාධය පිළිබඳව දැරිය කළ අනාවරණයෙන් පසු ළමා ආරක්ෂක ඒකකය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී.
දෙමාපියන් දෙදෙනාම සිය වරද පිළිගෙන ඇති අතර, ඔවුන් මේ වන විට බ්‍රෙවාර්ඩ් ප්‍රාන්ත බන්ධනාගාරයේ (Brevard County Jail) රඳවා සිටියි. ඔවුන්ට එරෙහි මීළඟ නඩු වාරය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතය. උගත් දෙමාපියන් අතින් මෙලෙස කුඩා දරුවෙකුට අමානුෂික වධහිංසා පැමිණවීම පිළිබඳව ඇමරිකානු සමාජය තුළ දැඩි කම්පනයක් සහ විරෝධයක් මතුව තිබේ.














