පසුගිය මාර්තු මුලදී ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් භාවිත කිරීමට ඇමරිකානු යුධ ගුවන් යානා සඳහා අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී, රජය එය ප්‍රතික්ෂේප කරමින් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ. ‘India Today’ පුවත් සේවය සමඟ පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, “ජනාධිපතිවරයාට නිවැරදි දේ කිරීමට තිබූ ධෛර්යය සහ දුරදක්නා නුවණ ගැන මම ආඩම්බර වෙනවා” යනුවෙනි.
ගෝලීය සුපිරි බලවතුන් අතර පවතින ගැටුම්වලට ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් මැදිහත් නොවිය යුතු බවත්, ශ්‍රී ලංකාව සැමවිටම “භයානක ලෙස ස්වාධීන” (Ferociously Independent) විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. ලෝක බලවතුන්ගේ ගැටුම් නිසා දැනටමත් ශ්‍රී ලාංකිකයන් ගෑස් හිඟය සහ සතියකට ලීටර් 15ක ඉන්ධන සලාකයකට යටත් වී සිටින බව සිහිපත් කළ ඒ මහතා, ඉන්දීය සාගරය බාහිර මිලිටරි බලපෑම්වලින් තොර “සාම කලාපයක්” (Zone of Peace) විය යුතු බව ද අවධාරණය කළේය. එසේම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව තවත් ජාත්‍යන්තර ගුවන් සේවාවලට විවෘත කරමින් රට කලාපීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් යෝජනා කර සිටියේය.














