මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය වාතාවරණය හමුවේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ප්‍රබලතම න්‍යෂ්ටික සබ්මැරීනයක් වන ‘HMS Anson’ අරාබි මුහුදේ ස්ථානගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැතපුම් 1,000ක පමණ දුරකට ප්‍රහාර එල්ල කළ හැකි ‘ටොමහෝක්’ (Tomahawk) කෲස් මිසයිල සහ ‘ස්පියර්ෆිෂ්’ (Spearfish) ටෝපිඩෝවලින් සමන්විත මෙම යාත්‍රාව, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට සැතපුම් 5,500ක පමණ දුරක් ගෙවා මෙම කලාපයට පැමිණ තිබේ. බ්‍රිතාන්‍යයේ ‘Astute’ කාණ්ඩයට අයත් පස්වන සහ නවීනතම ප්‍රහාරක සබ්මැරීනය වන මෙය, බ්‍රිතාන්‍ය නාවික හමුදා ඉතිහාසයේ මෙහෙයවනු ලබන බලවත්ම සබ්මැරීනයක් ලෙස සැලකේ.
ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර කරමින් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල කර ඇති තර්ජනය හමුවේ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 22ක් එක්ව ඉරානයේ ක්‍රියාකලාපය හෙළා දැක ඇති පසුබිමක මෙම යෙදවීම සිදු කර ඇත. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නොමැති වුවද, යුද්ධය තවදුරටත් උත්සන්න වුවහොත් ඉරානයට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මෙම සබ්මැරීනය සතු වේ. ඕනෑම ප්‍රහාරක නියෝගයක් ලන්ඩන් නුවර පිහිටි ඒකාබද්ධ මූලස්ථානය හරහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් විසින් ලබා දිය යුතු අතර, සබ්මැරීනය වරින් වර මුහුදු පෘෂ්ඨයට පැමිණ මෙම සන්නිවේදන කටයුතුවල නිරත වන බවද වාර්තා වේ.
මෙම සබ්මැරීනය මීට පෙර අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ‘AUKUS’ ආරක්ෂක සන්ධානය යටතේ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි අතර, මැදපෙරදිග අර්බුදය හමුවේ හදිසියේ අරාබි මුහුද වෙත කැඳවා තිබේ. ඇමරිකානු හමුදාවන්ට බ්‍රිතාන්‍ය යුධ කඳවුරු භාවිත කිරීමට අවසර ලබා දීමෙන් පසු බ්‍රිතාන්‍යය සෘජුවම මෙලෙස යුධමය මැදිහත්වීමකට සූදානම් වීම කලාපීය ආරක්ෂාව පිළිබඳව දැඩි කතාබහක් මතු කර ඇත. විශේෂයෙන්ම ගෝලීය බොරතෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් බව ආරක්ෂක විචාරකයෝ පෙන්වා දෙති.














