ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ බෙඩ්ෆෝර්ඩ් (Bedford) හි පදිංචි 21 හැවිරිදි කාර්ලි රේ වෙබ් (Carly Rae Webb) නැමති බේබිසිටර්වරියක (ළමා රකින්නියක), තමා භාරයේ සිටි වයස අවුරුදු දෙකක කුඩා දියණියකට අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ චෝදනා 17 කට වැරදිකරු වී තිබේ. දෙමාපියන් රැකියාවට ගිය පසු නිවසේ රඳවා සිටි ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම බිහිසුණු අපරාධය අනාවරණය වී ඇත.
මෙම රකින්නිය විසින් කුඩා බිළිඳියව පැය ගණනාවක් (සමහර අවස්ථාවල පැය 9 ක් දක්වා) ඇයගේ නිදන කූඩුව (Crib) තුළම රඳවා තබා ඇති අතර, මව විසින් දරුවා සඳහා වෙන්කර තැබූ ආහාර සහ පාන වර්ග කුණු කූඩයට දමා ඇත. දරුවා කුසගින්නේ සිටියදී ඇය දරුවා ඉදිරිපිටම ආහාර ගනිමින් ඇයට සමච්චල් කර ඇති බව දර්ශනවල සටහන්ව තිබුණි. තවද, දරුවාට පහර දීම, පයින් ගැසීම, පෙට්ටියක දමා සිර කිරීම සහ සෙල්ලම් තුවක්කුවකින් ඇයට විහිළු කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදීම ද ඇය විසින් සිදු කර ඇත.
දෙමාපියන් ඇය කෙරෙහි තැබූ දැඩි විශ්වාසය නිසා කැමරා දර්ශන පරීක්ෂා කර නොතිබුණද, දිනක් මෙම රකින්නිය විසින් “දරුවා පැය ගණනාවක් පුටුවේ වාඩි වී සිටීමට කැමතියි” යනුවෙන් කළ අමුතු ප්‍රකාශයක් නිසා සැක සිතී දර්ශන පරීක්ෂා කර තිබේ. අධිකරණය හමුවේ ඇයගේ නීතිඥයා ප්‍රකාශ කර ඇත්තේ ඇය එම රැකියාව කිරීමට අකමැත්තෙන් සිටි නව යොවුන් තරුණියක වීම මෙම හැසිරීමට හේතුව වූ බවයි. ඇයට වසරක සිරදඬුවමක් සහ වසර තුනක අත්හිටවූ දඬුවම් කාලයක් නියම වූ අතර, දරුවාට කතා කිරීමට නොහැකි වීම නිසා මෙම අපරාධය මාස ගණනාවක් තිස්සේ රහසක්ව පැවති බව පොලිසිය පවසයි.














