ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන් පිළිබඳ මෙතෙක් විසිරී පැවති දත්ත වාර්තා එක්රැස් කරමින් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) තාක්ෂණික සහය ඇතිව ඒකාබද්ධ ජාතික දත්ත පද්ධතියක් සකස් කිරීමට රජය පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), මානව හිමිකම් කොමිසම සහ විවිධ කාලවලදී පත්කළ තාවකාලික කොමිෂන් සභා සතුව දත්ත විසිරී පැවතීම හේතුවෙන් මෙතෙක් විශ්වාසදායක තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම බරපතල අභියෝගයක් වූ බවයි. මෙම නව ක්‍රමවේදය හරහා අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් දීර්ඝ කාලයක සිට අපේක්ෂා කරන විනිවිදභාවය සහ පැහැදිලිභාවය ලබාදීමට රජය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ දැනට පවතින සියලුම දත්ත තාවකාලික පද්ධතියකට ඇතුළත් කර සුරක්ෂිත කිරීමටත්, අනතුරුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ස්ථාවර දත්ත කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමටත් පියවර ගැනේ. මීට සමගාමීව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ප්‍රතිසංවිධානය කරමින් නීතිය බලාත්මක කරන ආයතන සහ සිවිල් ලියාපදිංචි කිරීමේ අංශ සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත්, දත්තවල නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා නවීන ඩිජිටල් වේදිකාවන් හඳුන්වා දීමටත් රජය සැලසුම් කර ඇත. මෙමගින් මානුෂීය, නීතිමය සහ වගවීම යන සියලු අංශ ආවරණය වන පරිදි ජාත්‍යන්තර මට්ටමේ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














