ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට සමීප උපදේශකයෙකු වූ අලි ශම්ඛානිගේ පුත් මොහොමඩ් හොසේන් ශම්ඛානිට (Mohammad Hossein Shamkhani) අයත් නැව් සමූහයක් ඉන්දීය වරායවලට ඇතුළුවීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අනතුරු අඟවා තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) විසින් නාවික අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් අනාවරණය වී ඇත්තේ, ශම්ඛානිගේ ජාලයට සම්බන්ධ නෞකා 14ක් පිළිබඳව ඇමරිකාව තොරතුරු ලබා දී ඇති බවයි. මෙම නෞකා ඉරානය හෝ රුසියාව ආසන්නයේදී සිය ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධති (AIS) ක්‍රියා විරහිත කරමින් හෝ වැරදි දත්ත ලබා දෙමින් සම්බාධක උල්ලංඝනය කරමින් තෙල් සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කරන බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම “සෙවනැලි නැව් සමූහය” හරහා ඉරාන රජය ඩොලර් බිලියන ගණනක ලාභයක් උපයන බවත්, එම මුදල් සම්බාධක මඟහැරීමට යොදා ගන්නා බවත් ඇමරිකානු වාර්තාවල සඳහන් වේ. ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි මුන්ද්‍රා (Mundra), ජවහර්ලාල් නේරු (JNPT) සහ දීන්දයාල් වැනි ප්‍රධාන වරාය බලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ මෙම නෞකා පැමිණියහොත් ඒවා පරීක්ෂාවට ලක් කරන ලෙසත්, භාණ්ඩවල මූලාරම්භය තහවුරු කර ගන්නා ලෙසත්ය. මෙලෙස නම් කරන ලද නෞකා අතර ‘Nora’, ‘Abhra’, ‘Gauja’ සහ ‘Mahadev’ වැනි බහාලුම් නෞකා සහ තෙල් ටැංකි ඇතුළත් වේ.
මෙම සිදුවීම ඉන්දියාව සහ ඉරානය අතර පවතින සාම්ප්‍රදායික සබඳතාවලට ඇමරිකාවෙන් එල්ල වන දැඩි බලපෑම පෙන්නුම් කරන තවත් අවස්ථාවකි. 2019 වසරෙන් පසු ඇමරිකානු බලපෑම් හමුවේ ඉන්දියාව ඉරානයෙන් තෙල් ආනයනය කිරීම පාහේ නතර කර ඇති අතර, චබහාර් (Chabahar) වරාය වැනි වැදගත් ව්‍යාපෘති පවා සම්බාධක හේතුවෙන් අඩාල වී තිබේ. 2026 පෙබරවාරි 28 වන දින ඉරාන බලධාරීන් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සහ ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අලි ශම්ඛානි ද මියගිය පසුබිමක, ඔහුගේ පුත්‍රයාගේ ව්‍යාපාරික ජාලය ඉලක්ක කර ගනිමින් ඇමරිකාව මෙලෙස “උපරිම පීඩනයක්” (Maximum Pressure) එල්ල කරමින් සිටී.














