ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ මෙරට බහාලුම් (Container) ප්‍රවාහන ගාස්තු සහ ප්‍රමාද ගාස්තු අතිදැවැන්ත ලෙස ඉහළ දැමීමට සිදුවන බව ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතා අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පවතින තත්ත්වය හමුවේ බහාලුම් ප්‍රවාහන ගාස්තු 350%ත් 400%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.
මෙම දැවැන්ත ගාස්තු වැඩිවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමට අමතරව වරාය තුළ බහාලුම් නිෂ්කාශනය කිරීමට ගතවන අධික කාලයයි. සාමාන්‍යයෙන් බහාලුමක් නිෂ්කාශනය කර ගැනීමට දින 4-5ක කාලයක් ගතවන අතර, ඒ සඳහා දිනකට රුපියල් 15,000 බැගින් වන ප්‍රමාද ගාස්තු (Demurrage) ගෙවීමට සිදුව තිබේ. කොළඹ අවට ප්‍රවාහනය සඳහා දැනට අය කරන රුපියල් 25,000ක ගාස්තුවට අමතරව, මෙම ප්‍රමාද ගාස්තුද එක් වූ විට සමස්ත පිරිවැය රුපියල් 75,000 ඉක්මවා යන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
උත්සව සමය එළඹෙමින් පවතින බැවින් පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට ලබාදීම සඳහා වරාය කටයුතු කඩිනම් කර දෙන ලෙස ප්‍රවාහන සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ප්‍රවාහන පිරිවැය මෙලෙස සිව් ගුණයකින් ඉහළ යාම ඉදිරියේදී වෙළෙඳපොළේ පවතින සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තවදුරටත් ඉහළ යාමට සෘජුවම බලපානු ඇත.














