පවතින දැඩි බලශක්ති අර්බුදය හමුවේ රටේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා ඉන්ධන සහ විදුලිය උපරිම අයුරින් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ද එස්. රාජකරුණා මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. පවතින සීමිත ඉන්ධන සංචිත කළමනාකරණය කරගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සහ විනෝද චාරිකා (Trips) සංවිධානය කිරීමෙන් හැකිතාක් වැළකී සිටින ලෙස ඔහු අවධාරණය කර සිටී.
පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහනය භාවිත කිරීමට යොමු වීම තුළින් රටේ සමස්ත ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට සහය වන ලෙස සභාපතිවරයා දන්වා සිටියි. විශේෂයෙන්ම, ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය සඳහා වැයවන අධික පිරිවැය අවම කරගැනීමට නම්, නිවසේ හෝ සේවා ස්ථානයේ අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලි බුබුළක් හෝ නිවා දැමීම මේ මොහොතේ අතිශය වැදගත් බව ඔහු පෙන්වා දෙයි. අප පරිභෝජනය කරන සෑම ඉන්ධන ලීටරයක්ම විදේශ විනිමය වැයකර ලබාගන්නා බැවින්, මහජනතාව සතු වගකීම ඉටු කිරීමෙන් රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දිය හැකි බව ඔහුගේ නිවේදනයේ සඳහන් වේ.
ඉන්ධන ආනයන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට සංස්ථාව උපරිම උත්සාහයක නිරත වන බවත්, ජනතාවගේ සහයෝගය මත මෙම අර්බුදකාරී කාලසීමාව වඩාත් පහසුවෙන් කළමනාකරණය කරගත හැකි වනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.














