අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට මරණ තර්ජනය කිරීමේ බරපතල චෝදනා එල්ල වී ඇති බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අද (22) අනාවරණය කළේය. හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් කඩුවෙලදී පැවැති ජනතා පෙත්සමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී සුගීෂ්වර බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ, කපිල චන්ද්‍රසේන මහතා විසින් මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ ලබාදුන් දිවුරුම් ප්‍රකාශයක් මගින් රංග දිසානායක මහතා තමන්ට මරණ තර්ජනය කළ බවට හෙළි කර ඇති බවයි. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මස්සිනාගේ මරණයට මෙන්ම, නීති කමිටුවේ තොරතුරු හෙළි කළ නන්දන ගුණතිලක මහතාගේ සැකකටයුතු මරණයට ද රංග දිසානායක මහතාගේ සම්බන්ධයක් ඇති බවට මෙහිදී චෝදනා එල්ල විය. මෙම විමර්ශන අවසන් වනතුරු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැඩ තහනම් කර වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, සාක්ෂි කරුවකු වන කපිල චන්ද්‍රසේන මහතාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
වත්මන් රජය යටතේ පොලීසිය සහ අල්ලස් කොමිසම දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කළ ඒ මහතා, ආනන්ද විජේපාල, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් එක්ව “රණවිරු දඩයමක්” දියත් කර ඇති බවද පැවසීය. එසේම, රට තුළ පවතින ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය විසඳීමට අපොහොසත් වී ඇති ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍යවරුන්ගේ දූෂණ වහමින් “රෙදි අපුල්ලන්නෙකුගේ” චරිතය නිරූපණය කරන බවට ද ඔහු දැඩි ලෙස විවේචනය කළේය.














