මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට උද්ගතව ඇති දැඩි ඉන්ධන අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහන කටයුතු සීමා කිරීමට තීරණය කර තිබේ. තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අද (22) පස්වරුවේ ප්‍රකාශ කළේ, මින් ඉදිරියට දිවයින පුරා ලිපි ප්‍රවාහනය “දිනක් හැර දිනක්” (Alternate days) සිදු කිරීමට පියවර ගන්නා බවයි.
මෙම නව තීරණයට අනුව සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇත. ඉන්ධන මිල ඉහළ යාම සහ දෙපාර්තමේන්තුවට ලැබෙන ඉන්ධන කෝටාව සීමා වීම නිසා මෙම දැඩි තීරණය ගැනීමට පරිපාලනයට සිදුව ඇති බව බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් දේශීය තැපැල් බෙදාහැරීම්වල යම් ප්‍රමාදයක් බලාපොරොත්තු වන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව, මැදපෙරදිග කලාපයේ පවතින ගුවන් සහ නාවික ගමන් බාධා හේතුවෙන් විදේශීය තැපැල් සේවාවන්ට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. ලංකාවට ලැබෙන විදෙස් තැපැල් පමාවනවා සේම, මෙරටින් පිටතට යවන තැපැල් භාණ්ඩ ද දැඩි ප්‍රමාදයකට ලක්ව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, බදාදා සහ ඉරිදා දින හැර සතියේ අනෙක් දිනවල තැපැල් කාර්යාල විවෘතව පවතින බැවින් පාරිභෝගිකයින්ට තම භාණ්ඩ භාර දීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














