එප්පාවල, පොත්තේගම ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ සිදු වූ දරුණු රිය අනතුරකින් තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් ඔහුගේ ගැබිනි බිරිඳ, දරු දෙදෙනා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව එප්පාවල පොලීසිය පවසයි.
පොලිස් සැරයන්වරයා පදවාගෙන ආ ලොරි රථය අධික වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි බස් රථයක පැති කණ්නාඩියේ ගැටී, අසල තිබූ බස් නැවතුමක ද ගැටී පෙරළී ගොස් ඇත. බස් නැවතුමේ වැදීමෙන් සිදු වූ දැඩි පහරින් රියදුරු අසුනේ සිටි සැරයන්වරයා එම ස්ථානයේදීම මියගොස් තිබේ. අනතුර වන අවස්ථාවේ ඔහු සමඟ එම පොලිස් ස්ථානයේම සේවය කරන කොස්තාපල්වරයෙකු ද ගමන් කරමින් සිට ඇත.
තුවාල ලැබූ ගැබිනි බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිස එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














