තුර්කියේ ඉස්තාන්බුල් නුවර ෆාතිහ් (Fatih) දිස්ත්‍රික්කයේ අද (22) මධ්‍යහ්නයේ සිදු වූ ප්‍රබල ගෑස් පිපිරීමක් හේතුවෙන් ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් නව දෙනෙකු සුන්බුන් අතර සිරවී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු බේරාගෙන රෝහල් ගත කිරීමට සමත්ව තිබේ. ඉස්තාන්බුල් ආණ්ඩුකාර දාවුත් ගුල් මහතා ප්‍රකාශ කළේ තවමත් අතුරුදන්ව සිටින අවසන් පුද්ගලයා සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි.
මේ අතර තුර්කියට සම්බන්ධ තවත් ඛේදවාචකයක් කටාර් මුහුදු සීමාවේදී අද අලුයම වාර්තා විය. කටාර් සහ තුර්කි ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදට කඩාවැටී ඇති අතර එහි ගමන් කළ හමුදා නිලධාරීන් සහ තාක්ෂණික ශිල්පීන් හත් දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර කටාර් හමුදාවේ සිව් දෙනෙකු, තුර්කි හමුදාවේ මේජර්වරයෙකු සහ තුර්කි ආරක්ෂක සමාගමකට (Aselsan) අයත් තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙකු සිටින බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය.
මෙම අනතුරු දෙක සම්බන්ධයෙන්ම තුර්කි සහ කටාර් බලධාරීන් සිය ශෝකය පළ කර ඇති අතර, හෙලිකොප්ටර් අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඉස්තාන්බුල්හි ගොඩනැගිලි කඩාවැටීමට හේතු වූ ගෑස් පිපිරීම පිළිබඳව ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














