ලංකා සුදු ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව වර්තමාන බස් ගාස්තුව 10%කට වඩා වැඩි අගයකින් සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) යෝජනා කර තිබේ. ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය හෙට (23) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පෙන්වා දෙන්නේ, වත්මන් බස් ගාස්තු සකස් කර ඇත්තේ ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවති පදනම මත බවයි. එහෙත් නව මිල සංශෝධනයත් සමඟ බස් ගාස්තු සූචිය 10%ක සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් ගාස්තු වැඩි කිරීම අනිවාර්ය වී ඇති බව ඔහු සඳහන් කරයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ යාම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු ද 20%කින් ඉහළ යන පසුබිමක මෙම බස් ගාස්තු සංශෝධනය ද මහජනතාවට දැඩි ආර්ථික බරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙට දිනයේ කැබිනට් අනුමැතිය හිමි වුවහොත් නව ගාස්තු ක්‍රියාත්මක වන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














