ලොව පුරා භාවිත වන මිලියන සිය ගණනක් වූ ඇපල් (Apple) අයිෆෝන් උපාංගවලට රහසිගතව ඇතුළු වී දත්ත සහ ක්‍රිප්ටෝ මුදල් පසුම්බි (Cryptocurrency wallets) තොරතුරු සොරකම් කළ හැකි අතිශය ප්‍රබල මෘදුකාංගයක් පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ. “ඩාර්ක්ෂ්වෝඩ්” (Darksword) ලෙස නම් කර ඇති මෙම මාරාන්තික මෘදුකාංගය පසුගිය සති කිහිපය තුළ යුක්රේනයේ වෙබ් අඩවි දහස් ගණනක අටවා තිබූ බව Lookout, iVerify සහ ගූගල් (Google) සමාගමේ පර්යේෂකයෝ බදාදා (18) ප්‍රකාශ කළහ. මෙම මෘදුකාංගය සෞදි අරාබිය, තුර්කිය, මැලේසියාව සහ යුක්රේනය යන රටවල ඉලක්කගත පුද්ගලයන්ට එරෙහිව භාවිත කර ඇති බවට සැක කෙරේ.
විශේෂයෙන්ම 2025 වසරේ මාර්තු සහ අගෝස්තු අතර නිකුත් වූ iOS 18.4 සිට 18.6.2 දක්වා සංස්කරණ සහිත අයිෆෝන් උපාංග මෙම ප්‍රහාරයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී. ඇපල් සමාගම පවසන්නේ මෙම මෘදුකාංගය මගින් ප්‍රයෝජනයට ගන්නා ආරක්ෂක දුර්වලතා (Bugs) සඳහා දැනටමත් පිළියම් (Updates) නිකුත් කර ඇති නමුත්, ලොව පුරා මිලියන 220ත් 270ත් අතර පිරිසක් තවමත් සිය දුරකථන යාවත්කාලීන කර නොමැති බැවින් ඔවුන් මෙම තර්ජනයට සෘජුවම මුහුණ දී සිටින බවයි. මීට පෙර මෙවැනි ප්‍රබල ඔත්තු බැලීමේ මෙවලම් රාජ්‍ය මට්ටමේ බුද්ධි අංශ සතු වූ නමුත්, දැන් ඒවා මූල්‍ය ලාභ අපේක්ෂා කරන අපරාධ කල්ලි අතට පත්ව ඇති බව පර්යේෂකයෝ අනතුරු අඟවති.
ඇපල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පරණ මෘදුකාංග (Out-of-date software) භාවිත කිරීම මෙම අනතුරට ප්‍රධාන හේතුව බවයි. එබැවින් තම උපාංගවල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා කළ හැකි වැදගත්ම දේ වන්නේ වහාම නවතම මෘදුකාංග සංස්කරණයට (Latest iOS update) යාවත්කාලීන වීම බව ඔහු අවධාරණය කළේය. තවද, මෙම මෘදුකාංගය ව්‍යාප්ත කරන බවට හඳුනාගත් වෙබ් අඩවි සියල්ල Safari බ්‍රවුසරය හරහා අවහිර කිරීමට ද ඇපල් සමාගම පියවර ගෙන ඇත. රුසියානු ක්‍රියාකාරිකයන්ට සම්බන්ධ බවට සැක කෙරෙන මෙම සයිබර් ප්‍රහාර මාලාව, සාමාන්‍යයෙන් මෙවැනි මෙවලම් රහසිගතව තබා ගන්නා රාජ්‍ය මට්ටමේ ඔත්තුකරුවන්ට වඩා වෙනස්ව ඉතා විවෘතව සහ මහා පරිමාණයෙන් සිදු කිරීම විශේෂත්වයකි.














