අධික අවදානම් සහිත ගැබ් ගැනීමක් හේතුවෙන් නිවසේ සිට රාජකාරි කිරීමට (Work From Home) අවසර ඉල්ලා සිටි මවකගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයගේ බිළිඳිය මියයාමේ පුවතක් අමෙරිකානු එක්සත් ජනපදයේ ඔහියෝ (Ohio) ප්‍රාන්තයෙන් වාර්තා වේ. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු ‘Total Quality Logistics’ (TQL) නැමති ආයතනයට, අදාළ මවට අමෙරිකානු ඩොලර් මිලියන 22.5ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 6.7කට අධික) වන්දියක් ගෙවන ලෙස එරට අධිකරණයක් නියෝග කර තිබේ.
චෙල්සියා වොල්ෂ් (Chelsea Walsh) නැමති මෙම සේවිකාව 2021 වසරේදී සිය ගැබ්ගැනීමේ සංකූලතා හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත නිවසේ සිට වැඩ කිරීමට අවසර ඉල්ලා ඇති නමුත්, ආයතනය එය ප්‍රතික්ෂේප කරමින් ඇයට කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ඇත. එසේ නොමැති නම් වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා ලෙසත්, එවිට ඇයගේ සෞඛ්‍ය රක්ෂණය අහිමි වන බවත් ආයතනය පවසා තිබේ. වෛද්‍ය නිර්දේශ නොතකා දින තුනක් කාර්යාලයේ සේවය කිරීමෙන් පසු ඇයට අකාලයේ ප්‍රසූත වේදනා හටගෙන ඇති අතර, එහිදී උපත ලැබූ ‘මැග්නෝලියා’ (Magnolia) නම් බිළිඳිය පැයකුත් විනාඩි 30කට පසු මියගොස් ඇත. පසුව මියගිය බිළිඳිය වෙනුවෙන් පවරන ලද නඩුව විභාග කළ ජූරි සභාව, ආයතනයේ අත්තනෝමතික තීරණය මෙම මරණයට සෘජුවම වගකිව යුතු බව තීරණය කරමින් මෙම දැවැන්ත වන්දි මුදල නියම කර තිබේ.














