1971 වසරේ බංග්ලාදේශ නිදහස් සටන සමයේදී (එකල නැගෙනහිර පකිස්ථානය) බෙංගාලි හින්දු භක්තිකයන්ට එරෙහිව සිදු වූ දරුණු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, “ජන සංහාරයක්” (Genocide) ලෙස නිල වශයෙන් පිළිගැනීමේ විශේෂ යෝජනාවක් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. ඔහියෝ ප්‍රාන්තයේ නියෝජිත මන්ත්‍රී ග්‍රෙග් ලෑන්ඩ්ස්මන් (Greg Landsman) විසින් පසුගිය සිකුරාදා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එය මේ වන විට විදේශ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමු කර ඇත.
මෙම යෝජනාව මගින් 1971 මාර්තු 25 වන දින පකිස්ථාන හමුදාව විසින් දියත් කළ “ඔපරේෂන් සර්ච්ලයිට්” (Operation Searchlight) මෙහෙයුම හරහා සිදු වූ සමූහ ඝාතන, සමූහ දූෂණ සහ බලහත්කාරයෙන් පිටුවහල් කිරීම් දැඩි ලෙස හෙළා දකී. එකල ඩැකා නුවර අමෙරිකානු කොන්සල් ජනරාල් ආචර් බ්ලඩ් (Archer Blood) විසින් එවකට වොෂින්ටන් පාලනය වෙත යොමු කරන ලද ප්‍රකට “බ්ලඩ් ටෙලිග්‍රෑම්” (Blood Telegram) පණිවිඩය ද මෙම යෝජනාවට පදනම් වී තිබේ. එම පණිවිඩය මගින් ඔහු පෙන්වා දී තිබුණේ පකිස්ථාන හමුදාව සහ අන්තවාදී කණ්ඩායම් එක්ව ක්‍රමානුකූලව හින්දු භක්තිකයන් සහ බෙංගාලි බුද්ධිමතුන් ඝාතනය කරන බවයි.
පකිස්ථාන හමුදාව සහ ‘ජමාත්-ඉ-ඉස්ලාමි’ වැනි අන්තවාදී සංවිධාන එක්ව සිදු කළ මෙම ක්‍රියාවලිය යුධ අපරාධ සහ ජන සංහාරයක් ලෙස පිළිගන්නා ලෙසත්, ඊට වගකිව යුතු පාර්ශවයන් හඳුනා ගන්නා ලෙසත් මෙම යෝජනාව මගින් අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. දශක පහකටත් වඩා පැරණි මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු කරවීමට ගත් මෙම පියවර, වර්තමාන දකුණු ආසියානු දේශපාලන වාතාවරණය තුළ ඉතා තීරණාත්මක එකක් වනු ඇතැයි විචාරකයෝ පවසති.














